Sunday, December 17, 2017

නිවාස ඉදිකිරීම හා බැඳුණ නගරසභා නීති

නිවාස ඉදිකිරීම හා බැඳුණ නගරසභා නීති - නිවසක් තැනීමේදී වැදගත් තාක්ෂණික කරුණු

ගොඩනැගිලි ඉදිකිරීම පිළිබඳ නගරසභා නීති මගින් අදාල පලාත් පාලන බල ප්‍රදේශ තුල ඉදිකරන සියළු ස්ථිර ගොඩනැගිලි යම් ප්‍රමිතිගත කිරීමක් සිදුවේ. ඒ වගේම එම ගොඩනැගිලි වල නිවැසියන්ගේ සේම ඒවායේ අසල්වාසීන්ගේද සෞඛ්‍ය තත්වය ආරක්ෂා කරදීමත් පරිසරය සුරැකීමත්, ආරවුල් ඇතිවීම අවමකිරීමත්, අනාගත වැඩිදියුණුකිරීම් සදහා ඉඩප්‍රස්තාව ඇතිකිරීමත් ආදී බොහෝ යහපත් පරමාර්ථ මේවා තුල දකින්න පුළුවන්. ලාංකික පුරවැසියන් විදිහට මෙම ඉදිකිරීම් නීති ගැන පරිපූර්ණ දැනුමක් කොහොමවුනත් යම් වැටහීමක් හෝ ලබා සිටීම ප්‍රයෝජනවත් වේ.


මේ නීති ගැන ඔබට ඔබේ සිහින නිවස සැලසුම් කරදෙන නිර්මාණශිල්පීයා ‍සැලකිලිමත් නොවුනහොත් සැලැසුම අනුමත කරගැනීමට යාමේදී විවිධ වූ ගැටළු වලට මුහුණදෙන්නට නිසැකවම ඔබට සිදුවේවි. මම මේ කියන්නේ මොකද්ද කියලා, කවදාහරි දවසක පලාත්පාලන ආයතනයකින් නිවාස සැලැසුමක් අනුමතකරගත්ත ඕනම කෙනෙකුට වැටහෙනවා ඇති.


තවත් සමහරු මෙයට වඩා තවත් පියවරක් ඔබ්බට තබමින්, (තම සැලැසුම අනුමත කරගැනීමට ඇති පහසුව නිසාම) මෙම අනුමත කිරීමේ දාමයට සම්බන්ධ නිලධාරීන් ලවාම‍‍ තම නිවාස සැලසුම සකසාගැනීමට කටයුතු කරන අවස්ථාද දකින්න පුළුවන්. 

නිවාස ඉදිකිරීම හා බැඳුණ නගරසභා නීති


1. නේවාසික ගොඩනැගිල්ලක් එය ඉදිකරනු ලබන බිමෙන් 2/3 කට වඩා වැඩි බිම්ප්‍රමාණයක් වසානොගත යුතුය. (කර්මාන්ත සහ වානිජ ගොඩනැගිලි සදහා මෙම අනුපාතය 4/5 කි.)
ඒකෙන් කියැවෙන්නේ ගොඩනැගිල්ලේ යට තට්ටුවේ(බිම් මහලේ) ප්‍රමාණය, එය ඉදිකරනු ලබන ඉඩමෙහි වර්ගඵලයෙන් 2/3 කට වඩා අඩුවියයුතු බවයි.

2. නේවාසික ගොඩනැගිලි ඒකක එකක් වර්ගඅඩි 3000 නොඉක්මවිය යුතුය.

ඔබේ ගොඩනැගිල්ලේ මුළු ගෙබිම් ප්‍රමාණය (සියළු මහල් වල එකතුව වර්ගඅඩි 3000ට වඩා අඩුවිය යුතුය. නැතහොත් නිවාස (ඒකක) දෙකක් ලෙසින් අනුමැතිය සදහා ඉදිරිපත් කල යුතුය. ඒ ඒ සියළු ඒකකයන් එකිනෙකින් ස්වායක්තව නිවසක මූලික අවශ්‍යතා සපිරිය යුතු අතර වරිපනම් අංකද දෙකක් ලැබෙනු ඇත.

3. මුළුතැන්ගෙවල් / ගබඩාකාමර / නාන කාමර / ගරාජ / විවෘත ආලින්ද / බරාඳයන් හැරුණකොට අනෙකුත් සියළු කාමර වල ක්‍ෂේත්‍රඵලය වර්ග අඩි 90 කට නොඅඩු විය යුතුය.

මුළුතැන්ගෙය සදහා අවම ක්‍ෂේත්‍රඵලය වර්ග අඩි 60 කි. නාන කාමරයක පැවතිය හැකි අවම පලල අඩි 23/4 ක් (මීටර 0.9) ලෙසද සැලකේ.

4. නේවාසික ‍ඒකකයක අවම වශයෙන් වර්ග අඩි 120 කට නොඅඩු එක් නිදනකාමරයක් හෝ තිබිය යුතුය.

5. කාමරයක අවම පලල අඩි 8කට නොඅඩු විය යුතුය.

6. පොළව මට්ටමේ සිට වහල මට්ටමට සාමාන්‍ය උස අඩි 9 ක් වියයුතු අතර අඩි 7 වඩා අඩු නොවිය යුතුය.

7. මනුෂ්‍ය වාසයට තැනූ ඕනෑම කාමරයක ගෙබිම් ක්‍ෂේත්‍රඵලයෙන් 1/7 ප්‍රමාණයකට නොඅඩු වර්ගඵලයක් සහිතව විවෘත ආලින්දයකට හෝ පිටතට (සම්මත ආලෝක තලයකට) විවෘතකලහැකි ජනෙල් පැවතිය යුතුය.

ඒ වගේම බාහිර පරිසරයට විවෘතවන දොරවල් පවතීනම්, දොර ජනෙල් දෙකෙහිම සමස්ථ වර්ගඵලය ගෙබිම් ක්‍ෂේත්‍රඵලයෙන් 1/7 කට වැඩිවන ලෙස පවත්වාගනිමින් ජනෙල්වල වර්ගඵලය ගෙබිම් ක්‍ෂේත්‍රඵලයෙන් 1/15 දක්වා අඩුකලහැකිය. ආලින්දයක සම්පූර්ණ දිගට අඩි 3 කට වඩා උසින්යුතු කෙටි බැම්මක්/ අත්වැටක් ඇතිවිටකදී එය විවෘත ආලින්දයක් ලෙස සැලකෙන්නේ නැත.

වැසිකිලි සහ ගරාජ සදහා මෙම අගය 1/10කි.

8. ආලෝකය ලබාගැනීමට යොදාගනු ලබන පිටතට විවෘතකලහැකි ජනේලයක හෝ දොරක ඉදිරිපස සිට අඩි 71/2 දක්වා කිසිදු බාධකයක් නොවිය යුතුය.(සම්මත ආලෝක තලය)

නිවසකට ආලෝකය/වාතාශ්‍රය සැපයීම පිණිස තැබෙන ජනෙල් හෝ දොරවල් ආසන්න වැට මායිමේ හෝ ගොඩනැගිල්ලේ සිට අඩි 71/2 ක අවම දුරකින් පිහිටිය යුතු වෙනවා. එයට වඩා අඩු දුරකින් පිහිටුවන කිසිවක් නිවසට ආලෝකය සහ වාතාශ්‍රය ලබාදෙන්නක් ලෙසින් සැලකෙන්නේ නැහැ

9. ගොඩනැගිල්ලේ පසුපසින් ඉඩමේ මායිම දක්වා අඩි 10ක ඉඩක් වෙන්කල යුතුවේ.

මෙම ඉඩ ගිණිනිවීමේ කාර්ය සදහා වෙන්කර ඇති අතර දර මඩු වැනි තාවකාලික ඉදිකිරීමකට හැර වෙනත් කිසිදු ස්ථිර ගොඩනැගිල්ලක් මෙහි ඉදිකල නොහැකිය. කෙසේවුවද 1986 මාර්තු 10 දිනැති අංක 392/9 දරණ රෙගුලාසි ගැසට් නිවේදනයේ 26 වෙනි වගන්තිය‍ට අනුව මෙම අඩි 10 (මීටර 3)ක විවෘත ඉඩකඩ, යෝජිත ගොඩනැගිල්ල බිම්මහල සහ තවත් එක් මහලකට පමණක් සීමාවන විටකදී මීටර් 2.25 දක්වා අඩුකල හැකිවේ.

10. ලිඳ සහ වැසිකිලි වලක් අතර පැවතියහැකි අවම දුර අඩි 50කි.
මෙය ඔබගේ ගෙවත්ත තුල සේම ඔබගේ ලිඳ/වැසිකිලිය සිට අසල්වැසියාගේ ලිඳ/වැසිකිලිය අතර දුරටත් එකසේ අදාල වේ.

11. වර්ග අඩි 2000 කට වැඩි ගොඩනැගිලි සඳහා සෑම වර්ග අඩි 2000 කටම අවම වශයෙන් 8’x16’ ප්‍රමාණයේ ඉඩක් වාහන ගාල්කිරීමේ පහසුකම් ලෙසින් සැපයිය යුතුය.

නිවාස හා නගර සංවර්ධන ආඥාපනතට අනුකූලව පනවා ඇති මෙම නීතීන්, ක්‍රියාත්මක කිරීමේදී ඇතැම් පලාත් පාලන ආයතන වල සුළු සුළු වෙනස්කම් දකින්න තිබුනත් මූලික හරය වෙනස්වෙලා නැහැ. ඉතිං ගෙයක් හදාගන්න හිතාගෙන ඔබේ පලාත්පාලන ආයතනයේ අනුමැතිය ඒකට ලබාගැනීම උදෙසා ඔබ අයදුම්පතක් ඉදිරිපත් කලවිට, අදාල පලාත්පාලන ආයතනයට අනුයුක්ත කාර්මික නිලධාරි වරයා හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා විසින් ඉහතදී සදහන් කරපු කරුණු කාරණා පරීක්ෂාකරනු ලබනවා. මෙයට අමතරව ඔබේ ලිඳ සහ වැසිකිලි වලෙහි පිහිටීම, වැසිජලය සහ විශේෂයෙන් අපවිත්‍ර ජලය බැහැරකිරීමේ ක්‍රමවේදය සහ අසල්වැසියන්ට ඒවායින් වන බලපෑමත් ඔහුගේ සැලකිල්ලට බදුන්වෙනවා.
මම මුලින්ම කිව්වා වාගේම මේ නීතිරීති නිසියාකාරව ක්‍රියාත්මක වේ නම් ඔබේ මෙන්ම ඔබගේ අසල්වාසීන්ගේද සෞඛ්‍ය තත්වය ආරක්ෂා කරදීමට එය මනා පිටුවහලක්. ඒ නිසාම මේ නීති වලින් රිංගා යාමට උත්සහ කරනවා‍ට වඩා, ඒවා අනුගමනය කරමින් වාසයකිරීමට වඩා යෝග්‍ය පරිසරයක් පවතවාගෙන යාමට මේ පුංචි ආණ්ඩු වලට සහාය දැක්වීම යහපත් පුරවැසියන් විදිහ‍ට ඔබේ යුතුකම බව මතක් කරන්න කැමතියි.

ඒ වගේම ඔබේ ගෙවත්තේ වැසිකිලි හා 
වැසිකිලි වළවල් සෑදීමේදී ඔබ දැනගත යුතු කරුණු ගොඩක් අැත. නමුත් මම මෑතකදී සොයා ගත් e-Book ඒකක් හේතුවෙන් අද ඒ ගැන කිසිවක් කියන්න උත්සාහ කරන්නේ නැත. මම ඔබට ඒම e-Book ඒක භාගත කර ගැනීමට ලින්කුව පහලින් දෙන්නම්.

නැවතත් මෙවැනිම වැදගත් ලිපියකින් හමුවෙමු, මතක අැතිව comment 1ක් ඒහෙම දාගෙන යන්න.
read more article:-


> බැංකු අයිරා පහසුකම්, භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර

> Quantity Surveyor - ප්‍රමාණ සමික්ෂකවරයා

> Tender Procedure-Sinhala 01

> Tender Procedure-Sinhala 02

> Costing for Plastering Cement Motar

> Type of Contracts - කොන්ත්‍රාත් වර්ග

Recommended Posts × +